Sunday, March 27, 2016

ළමා මෙහෙකාර සේවය පිටු දකිමු........

                    ළමා මෙහෙකාර සේවය පිටු දකිමු






 දරැවන් දෙමව්පියන්ට සම්පතකි.දරැවන් නිසා දෙමාපියන්ගේ ලෝකය වඩාත් සුන්දර වෙයි.දරැවෙකුගේ සිනහා හඩ දෙමාපියන්ගේ සියලු ප්‍රශ්න අමතක කර දමයි.නමුත් දෙමව්පියන්ගේ සෙනෙහස ,රැකවරණය අහිමි වූ දරැවන් කොතෙකුත් අප අතර වෙති.ඉපදුනු ගමන් දරැවා කුණු ගොඩවල්වල ,කාණුවල දමා යන බොහෝ මව්වරැ අප අතර සිටිති.

පාරේ සිඟමන් යදින, හාල්ගෝනි,පිටිගෝනි කර මත තබාගෙන එහා මෙහා යන විදී දරැවන් අපි අනේක වාරයක් දැක ඇත්තෙමු.නිවස්වල බැල මෙහෙවරකම් කරමින් සිය ස්වාමි දියණියන්ගේ කටුක වද හිංසනයන්ට ගොදුරැ වන දරැවන් පිළිබඳ හද කම්පා කරන පුවත් අප නිරන්තරයෙන් අසමු.අධ්‍යාපනය ලැබීම සෑම දරැවෙකුගේම අයිතියකි.ඒ අයිතිය අහිමි වූ විට රටට තිළිණ වන්නේ දරැණු මිනිමරැවන්,මංකොල්ලකරැවන් ,සොරැන් වැන් සමාජ දූෂකයින් ය.

අද බොහෝ දෙමාපියන් දරැවන් මහමඟ දමා යන්නේ දරැවා හඳා වඩා ගැනීමට සුදුසු සමාජ පරිසරයක් හෝ ආර්ථික තත්ත්වයක් නොමැති වීම හේතුවෙනි.මෙලෙස දරැවන් අනාථ වීම වර්තමාන සමාජ පරිහානියට බලපෑ ප්‍රධාන සාධකයයි.ඇතැම් ගම්බඳ පෙදෙස්වල ඇතැම් දෙමාපියෝ තම දරැවන් හදා වඩා ගැනීමට ප්‍රමාණවත් වත්කමක් නොමැති වීම නිසා ඔවුන් මෙහෙකාර සේවයේ යොදවති.ඇතැම් නෝනා මහත්වරැන් මෙහෙකාර සේවයට දරැවත් රැගෙන යන්නේ එම දරැවා නගරයේ උසස් පාසලකට ඇතුළත් කොට හොද අධ්‍යාපනයක් ලබා දෙන බවට පුරසාරම් දොඩමිනි.තවත් නෝනලා දරැකමට හදා ගන්නා බව කියමින් දරැවන් මෙහෙකාර සේවයට රැගෙන යති.නමුත් මේ දරැවන්ට සිදුවන්නේ නගරයක සුවිසල් මන්දිරයක සිරකරැවෙකු වෙමින් එකී සියලු බැලමෙහෙවරකම් කිරීමටයි.එපමණක් නොව ගෙහිමියන්ගේත්,ස්වාමි දියණියන්ගේත්,දරැවන්ගේත් නොයෙක් තාඩන පීඩන අතවරවලට ලක්වීමටයි.

මෙසේ නිවෙස් හිමියන්ගෙන් ලැබෙන වද වේදනා දරාගත නොහැකිව ළමුන් නිවෙස්වලින් පළා යාම බහුලව සිදුවන්නකි.මෙසේ යන දරැවන් සමාජයේ විවිධාකාර පුද්ගලයිනිගේ ග්‍රහණවලට හසුවෙති.මෙසේ ඔවුන්ට හමුවන වැඩිදෙනා යහපත් අය වන්නේ ඉතා කලාතුරකිනි.සොරැන්ගේ,මංකොල්ලකරැවන්ගේ අතකොලු බවට පත්වන දරැවෝ ඉන්පසු ඔවුන්ගේ පාප ක්‍රියාවන්වල කොටස්කරැවෝ වෙති.ඔවුන්ට මෙහි වැරදි නිවැරදි බව කියා දෙන්නට කිසිවෙක් නැත.හරි වැරදි තේරැම් ගැනීමට අවශ්‍ය අධ්‍යාපනය මේ දරැවන්ට නැත.තමන් කරන ලද වැරදි ක්‍රියාවන්ගේ බරපතලකම ඔවුන් අවබෝධ කර ගන්නේ පොලිස් සිරමැදිරියේදීය.

ඇතැම් කපටි කාන්තාවෝ මෙසේ අසරණ වන ගැහැණු දරැවන් රවටා ඔවුන් සළෙලුන්ට අළෙවිකර යහමින් මුදල් උපයති.ගැහැණුන්ගේ අසරණකමම අවියක් කරගෙන ආදායම උපයන මෙවැනි කාන්තාවන් අද සමාජයේ බහුලය.මෙසේ නිවෙස්වලින් පැන යන තවත් සමහර දරැවෝ විවිධ රැකියාවන්ට යොමු වෙති.කෙසේ හෝ මේ සෑම ළමයෙකුටම අධ්‍යාපනය අහිමි වෙයි.බොහෝ විට ඔවුන්ට ඔවුන්ගේ අනාගතය ද අහිමි වෙයි.
අවුරැදු දහසයට අඩු ළමුන් මෙහෙකාර සේවයේ යොදවා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.මේ සම්බන්ධයෙන් පවතින නීති දැඩිව ක්‍රියාත්මක වීම අනිවාර්යයි.ලක්වැසි සියලු දෙනා මේ සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමු කළ යුතුය.මිහිතලයේ වෙසෙන සියලුම දරැවන් තමන්ගේ දරැවන් ලෙස සිතා කටයුතු කළ හැකි නම් ලොව සියලුම ළමුන්ට සිනාසිය හැකි හෙටක් උදාවිම වැළැක්විය නොහැකිය.

No comments: